නුඹේ ඇට ලේ මිදුළු විනිවිද නුඹේ උණුහුම වින්ද හන්දා
නුඹේ ජීවය කිරට හරවා මගේ කුසගිනි නිවූ හින්දා
ලොවේ කොතැනක නොවූ අරුමැති සෙනෙහෙ දහමක් ලෙසින් දුටු දා
නුඹම ලුහුබැඳ සසර දිනනට වරම් මට ඇති බවත් සිතුනා
නිමක් නොපෙනෙන ලොව සතර කොන මගේ දෑතට ගුලි කරන්නට
තෙරක් නොදකින කෙලෙස් ගඟුලක නොගිලෙනා යුරු කියා දෙන්නට
ලැබූ මාහැඟි මිනිස් ගුණයට අවමාන ගෙන නොදී ඉන්නට
කියා දුන් නුඹේ උතුම් පැවතුම් සෑහේවි මට ලොව දිනන්නට
මද සුළඟ වැද පවා ගිලිහෙන සිනිඳු මල් පෙති පළුඳු නොවනට
නුඹේ ගුණ දම් පාට මුහුකොට සිනිඳු පෙති අග තවරනා විට
දනිමි මල් පෙති විදා හිනැහී නුඹේ ලොවටත් සුවඳ දෙන බව
පුරා පෙරුමන් නුඹට පුද දෙන මලක් වී මා සැනසෙනා වග