Tiny Kaoani

3/03/2023

කුමටද?

පැතූ සැනසුම උඩු හුලඟ ලඟ සිනා සී මට අතවනා,

යන්න අවසර පතා සිටිනා බව දකිමි මම නෙත් පුරා,

රඳව ගන්නට කොහිද අවසර මගෙ සිතත් මා හැර ගියා,

"හුස්ම" නුඹ පමණක්ම කුමටද වෙහෙස වී ලඟ රැඳවිලා..

2/27/2023

සිතුවෙමි

කඳුලට පෙම් කළ ද මා හැර දා නොගිය,

"සිනහව" නුඹට මා දුන් රිදුමන් වැඩි ද?

යළි නොම එන්න අවසර පතනා මෙදින,

සිතුවෙමි තවත් අවැසිද මා ලෝකයට..

10/21/2022

ආයුබෝවන්

මට මා සිතට මා යනු කවුරුන්ද කියූ

හෙට යන වදන සිනහවකින් සිතේ මැවූ

තවමත් නොහැගෙනා සවිමත් ගලින් නෙලූ

සිතුවිලි මගේ ධනයම වේවායි පැතූ


පැහැයෙන් කෙරුනු සිතුවම් නැත සිතේ ඇදී

සුවිසල් බොහෝ දෑ මට මගහැරෙන් ඇතී

මේ ගහකොලත් වැව් සෑ ගල් කුළුත් නැමී

කියු මිනිසත් දහම පමණක් රැගෙන යමී


මේ බිම දන නමමි මම සෑ රදුන් වැඳ

මතු භවයෙදිත් මේ උරුමය දුන මැනව

මා යන බිමක මා රැකුමට මෙහි මෙන්ම

මේ දූවිලි සුළගෙ සිසිලස එවනු මැන !!!

9/22/2022

එකම එක කව..

 නොහිමි සෙනෙහෙන් වචන අරගෙන මමම ලිව් කවි පදයක,

දැවටි දැවටී තවම විදිනා මිල නොකළ හැකි සැනසුම,

එවන් කවියම කියව කියවා දරාගන්නට බැරි  තැන,

නුඹ ලියූ එකමෙක කවක්වත් නැතිද මියැදෙන හිතකට..


6/12/2015

සදා ආදර මගේ සරසවි මවුනි නුඹ පෙන්වූ මගින්......

ගෙවා බෝ දුර ගම් නියම් ගම් නගර පසුකර නුඹ කරා
පිය නැගූ යුරු අදත් එලෙසම ඇඳෙයි මගෙ හදවත පුරා
මා පැතූ ලොව මගේ නෙතු ලඟ මැවී ඇති බව දුටු නිසා
නුඹේ තුරුලම සොයා ආවෙමි සිත නොලද උණුහුම පතා...

රුහුණු අහසට වඩා සුවිසල් පාලු නිලඹර දෙස බලා
හෙලූ සුසුමට සිනහවට මගෙ තුරුණු හිත සුවපත් උනා
දිනූ දැනුමට වඩා නුඹ ලඟ රැඳී මම නුඹ දෙස බලා
දිනා ගත්තෙමි සදා මාහැඟි මිනිස් මහිමය සිත් පුරා...

පුදා මල් පැන් රුවන් මැලි සෑ සමිඳු අබියස දන නමා
මෙතෙක් නොලැබුනු සෙවන ලද්දෙමි සිරිමහා බෝධිය පුදා
මට පුරුදු මහ සයුර නොදුටුව නමුදු වැව් දිය කනදරා
දැක සිතමි මම ආදරෙයි මගෙ මවුනි මේ දිය කඳ වසා...

බොහෝ සිත් මම දකිමි කියවමි අදත් නුඹ දුන් ඔවදනින්
බොහෝ දුර මම දකිමි බලනෙමි අදත් නුඹ දුන් විදු නෙතින්
බොහෝ පොහොසත් උනෙමි වන්නෙමි නුඹෙන් ලද මිනිසත් බවින්
බොහෝ උපයමි නුඹ මෙන්ම මම මනු සතුන් පිරි යහගුණෙන්...

වදිමි පායුග දෙනෙත් පෑදූ ගුරු දෙගුරු සිහිපත් කරන්
දන නමන්නෙමි මගේ විදුමව මා හැදූ යුරු සිහිකරන්
සදා ආදර මගේ සරසවි මවුනි නුඹ පෙන්වූ මගින්
අවසරයි මට පා නගන්නට නුඹෙ දෙපා වැඳ සමු අරන්...

7/18/2014

පුරා පෙරුමන් නුඹට පුද දෙන......

නුඹේ ඇට ලේ මිදුළු විනිවිද නුඹේ උණුහුම වින්ද හන්දා
නුඹේ ජීවය කිරට හරවා මගේ කුසගිනි නිවූ හින්දා
ලොවේ කොතැනක නොවූ අරුමැති සෙනෙහෙ දහමක් ලෙසින් දුටු දා
නුඹම ලුහුබැඳ සසර දිනනට වරම් මට ඇති බවත් සිතුනා

නිමක් නොපෙනෙන ලොව සතර කොන මගේ දෑතට ගුලි කරන්නට
තෙරක් නොදකින කෙලෙස් ගඟුලක නොගිලෙනා යුරු කියා දෙන්නට
ලැබූ මාහැඟි මිනිස් ගුණයට අවමාන ගෙන නොදී ඉන්නට
කියා දුන් නුඹේ උතුම් පැවතුම් සෑහේවි මට ලොව දිනන්නට

මද සුළඟ වැද පවා ගිලිහෙන සිනිඳු මල් පෙති පළුඳු නොවනට
නුඹේ ගුණ දම් පාට මුහුකොට සිනිඳු පෙති අග තවරනා විට
දනිමි මල් පෙති විදා හිනැහී නුඹේ ලොවටත් සුවඳ දෙන බව
පුරා පෙරුමන් නුඹට පුද දෙන මලක් වී මා සැනසෙනා වග

3/09/2014

.....නම් නුඹ,

අහස නම් නුඹ බලා හිඳීවි නොසැලිව
පොලොව නම් නුඹ දරා හිඳීවි නිහඬව
ගඟක් නම් නුඹ ගලා බසීවි සසලව
සයුර නම් නුඹ නගා ඇදේවි රළ පෙළ

සතුට නම් නුඹ සිනා නගාවි තව තව
කඳුල නම් නුඹ සැඟව හිඳීවි නෙතු අග
සුසුම නම් නුඹ මුහුව හමාවි සුලඟට
'මගේ සිත' නුඹ සිතා ගනු බැරි මසිතට