Tiny Kaoani

6/12/2015

සදා ආදර මගේ සරසවි මවුනි නුඹ පෙන්වූ මගින්......

ගෙවා බෝ දුර ගම් නියම් ගම් නගර පසුකර නුඹ කරා
පිය නැගූ යුරු අදත් එලෙසම ඇඳෙයි මගෙ හදවත පුරා
මා පැතූ ලොව මගේ නෙතු ලඟ මැවී ඇති බව දුටු නිසා
නුඹේ තුරුලම සොයා ආවෙමි සිත නොලද උණුහුම පතා...

රුහුණු අහසට වඩා සුවිසල් පාලු නිලඹර දෙස බලා
හෙලූ සුසුමට සිනහවට මගෙ තුරුණු හිත සුවපත් උනා
දිනූ දැනුමට වඩා නුඹ ලඟ රැඳී මම නුඹ දෙස බලා
දිනා ගත්තෙමි සදා මාහැඟි මිනිස් මහිමය සිත් පුරා...

පුදා මල් පැන් රුවන් මැලි සෑ සමිඳු අබියස දන නමා
මෙතෙක් නොලැබුනු සෙවන ලද්දෙමි සිරිමහා බෝධිය පුදා
මට පුරුදු මහ සයුර නොදුටුව නමුදු වැව් දිය කනදරා
දැක සිතමි මම ආදරෙයි මගෙ මවුනි මේ දිය කඳ වසා...

බොහෝ සිත් මම දකිමි කියවමි අදත් නුඹ දුන් ඔවදනින්
බොහෝ දුර මම දකිමි බලනෙමි අදත් නුඹ දුන් විදු නෙතින්
බොහෝ පොහොසත් උනෙමි වන්නෙමි නුඹෙන් ලද මිනිසත් බවින්
බොහෝ උපයමි නුඹ මෙන්ම මම මනු සතුන් පිරි යහගුණෙන්...

වදිමි පායුග දෙනෙත් පෑදූ ගුරු දෙගුරු සිහිපත් කරන්
දන නමන්නෙමි මගේ විදුමව මා හැදූ යුරු සිහිකරන්
සදා ආදර මගේ සරසවි මවුනි නුඹ පෙන්වූ මගින්
අවසරයි මට පා නගන්නට නුඹෙ දෙපා වැඳ සමු අරන්...

1 comment:

  1. ඇත්තටම සරසවියයි පාසලයි අතර ලොකු වෙනසක් තියෙනවා.මමත් හැම කෙනෙක්ටම කියන්නේ ඒ වෙනස අත්විදින්න කියලා.පාසලෙන් ගත්තු අත්දැකීම් සරසවියෙන් ගන්නත් බෑ,සරසවියෙන් ගන්න අත්දැකීම් පාසලෙන් ගන්නත් බෑ.හොද නිර්මාණයක්

    ReplyDelete