Tiny Kaoani

11/01/2012

තවමත්...


දුරින් දුරට පියමන් කර,
ජීවිතයේ සතුට සොයන ,
හිත් මල අග රැඳුනු කඳුලු කැට වියලුන් නෑ
හිත පිරවූ සුසුම් පවන ඈත ගියේ නෑ,,

නෙත් තුළ දිලි ආදරයට,
හදේ රැඳුනු සෙනෙහෙ පොදට,
හිතේ උපන් ආසාවට පිටව යන්න බෑ
හීන මවන මේ හදවත මට අවනත නෑ,,

ජීවිතයේ නොලැබුම ලඟ,
දරන්න බැරි දුක් ගින්දර,
මේ සියුමැලි හිතින් දැරුවෙ කෝමද දන් නෑ
තවමත් ඒ හිතේ රිදුනු තැන් සුව වුන් නෑ,,

10/24/2012

නුහුරු නුපුරුදු


නුහුරු කවි පද ගොතා එක්කර
සොඳුරු තනුවක රඳවලා,
නුහුරු නුපුරුදු බවක් නොදැනෙන
ලෙසක ගී පදවැල් වෙලා,
නුහුරු හඬකින් ගැයෙන විටකදි
දුකට හුරු සිත සරසලා,
නුහුරු බව හිත නොදැනුනෝතින්
සිනාසෙමි නුඹ දෙස බලා..

10/10/2012

සුලඟක් වෙලා මතු භවයෙත් උපදින්න


සීමා නොමැත , මායිම් මම නොතැකුවෙමි
අහසට පොළොව දුර බව මට නොහැඟුනෙමි
කොපමණ දුර ගියත් වෙහෙසක් නොදැනුනෙමි
තව දුර යන්න හිත , ගත සවියක් ලදිමි

සහසක් නෙක දනන් ගත සුවපත් කරමි
පහසක් විලස මොහොතක් ලඟ දැවටුනෙමි
බිඳුනු හදක රැඳි සුසුමන් රැගෙන යමි
දුකක් නොමැත , මම කිසි දින නොනවතිමි

හැකිනම් නුඹ එන්න මා සමඟින් යන්න
මා නම් නොනවතිමි නුඹ ලඟ දැවටෙන්න
නැවතුම දුකකි , ඒ බව වටහා ගන්න
සුලඟක් වෙලා මතු භවයෙත් උපදින්න

වාසනාවන්තයා..


ඔබට,
කිසිවක් නොවැටහෙන්නට
ඉඩ ඇත..
නමුදු ඔබට,
කිසිවක් නොවැටහෙන බව
වැටහෙන්නේ නම්
ඔබ වාසනාවන්තයෙකි....

10/09/2012

පැරදීම..


'පැරදීම' දුකයි..
ඒත්,,
'පසුතැවීමක්' නැති පරාජයක් නම්.....
සතුටක් නැතත්
දුකක් ඉතිරි නොවේවි....

9/24/2012

සිනාසුනෙමි...


හිතට දැනෙන
නෙතට පෙනෙන
මගෙ මතක හීන වලට,
දුක හිතෙනා හැම වාරෙම
නුඹේ සතුට මං හිතුවා...
ඒ සතුටට වඩා වටින 
සතුටක් නොදැනුනු හින්දා,
සිනාසුනෙමි හිත පුරාම 
කඳුලු හෙටට අරන් තියා...

9/21/2012

හේතුව...


මං යන්නම්..
ඒ,,
නුඹට ආදරේ නැති නිසා නෙමෙයි..
හිතේ හැටියට, 
මහා ගොඩක්,
නුඹට ආදරේ කරන්න 
ඕන නිසා...

9/02/2012

මගේ රජරට..


රුහුණු අහසට පෙම් බැන්ද මට
සෙවන දුන් සිරි මා බෝ සමිඳුට,
මහ සයුර නෙත නොගැටි මානෙට
සයුර වූ මහ කනදරාවට,

මේ අනුරපුර දැනි උණුහුමට,
මිස්සක පව්වෙන් හැමූ හුලඟට,
මගෙ තැලුනු හිත හදාගන්නට
නමැඳි රන් මැලි සෑ සමිඳු හට,

මගේ කවි හිත  සිත්තමක් උනු
මේ අනුරපුර අහසෙ සඳවත,
ආදරෙයි මම සදාකල්හිම 
තනි වු මා රැකි මගේ රජරට..



8/24/2012

(නො)නැවතුම


ගඟ,,
ගිරි, හෙල්, කඳු, පටු මාවත් 
දිගේ උනත් දුක උහුලන්
සයුරම දැක සැනසෙන්නට
නොනැවතීම ගලනා රඟ.....

සයුර,,
එහෙව් නදිය  පිළිනොගෙනම
දුක සැපවත් නොවිමසාම
වෙරළ සොයා ඇදෙනා රඟ....


8/22/2012

දෙවියන්ට වැරදිලා ද?


මම..
එදා සිටි මමමයි,,
එදා සිටි තැනමයි,,
ඒත් මගෙ ලෝකයේ
වෙනස්කම් බොහෝමයි..
මගේ ලොව උඩුයටිකුරු කරන්නට,
මටත් නැති බලතල
නුඹට දුන්නේ...
දෙවියන්ට වැරදිලාවත් ද ???

8/21/2012

ගීතය


තනුවට වශී උන නිසා
ගීතයේ පදරුත්
එකින් එක තේරුවෙමි...
අවසන,,,
දෙනෙතු අග
රැඳි කඳුලු දරා මම,
දෙසවන් වසා ගත්තෙමි..
කිසිත් නොඇසෙන්නට...

8/19/2012

අර්ථ දැක්වීම


හද පැතුම

සුවඳ තමයි මලක් ලොවක්
පුරා ගෙන ගියේ..
සිසිල තමයි සඳක් අහස 
පුරා විහිදුවේ..
උණුහුමම තමයි හිරුට ලොවම
එක රුවක් කළේ..
තරු පොකුරු තමයි අහස දෙනෙත
පුරා රැඳවුවේ..

සිතුවිල්ල තමයි හිතක රැඳුණු
මහරු මිණ වුණේ..
ලතැවිල්ල තමයි දිවිය රැගෙන 
පසුපසට ගියේ..
ඉවසිල්ල තමයි ලොවම දිනන
කටුක මග වුණේ..
සැනසිල්ල තමයි නුඹෙත් මගෙත්
හද පැතුම වුණේ..

8/16/2012

මගේ වෙන්නෙපා නුඹ මට නැතිවේවී..


මලක් වෙන්නෙපා පරවෙනවා නේද
සඳක් වෙන්නෙපා බැසයනවා නේද
ගඟක් වෙන්නෙපා සතු මුහුදට නේද
ලොවක් වෙන්නෙපා ජයගනු බෑ නේද

හිතට එන්නෙපා දුක විතරයි ඉන්නේ
නෙතට එන්නෙපා කඳුලයි එහි ඇත්තේ
සිහින වෙන්නෙපා බොඳ වෙයි මතු දිනයේ
පැතුම වෙන්නෙපා විසිරෙනවා නිබඳේ

කවිය වෙන්නෙපා මාතින් ලියැවේවී
සුලඟ වෙන්නෙපා මා ලඟ දැවටේවී
තනිව ඉන්නෙපා නුඹ මට හිමිවේවී
මගේ වෙන්නෙපා නුඹ මට නැතිවේවී

අම්මා...


ආදරය 
සෙනෙහස
නොසිඳෙනා 
 උල්පත......

8/15/2012

නුඹ සහ හිත


නුඹත් මගෙ හිත වගේමයි 
මා වෙහෙසවයි..
මගෙ හිතත් නුඹ වගේමයි
මට ආදරෙයි..
මටත් මගෙ හිත වගෙම 
නුඹ පැහැදිලි නොවෙයි..
හිත වගේ හින්දාම වෙන්නැති
හිත නුඹට හරි ආදරෙයි.. 


මිතුරිය


මිණි මුතු මිතුදමක බැබලෙන මිණි ගෙතුණු
තුන් යාමයට සුවඳැති මල් දම් ගෙතුණු
රිසි ලෙස සිතක රැඳි හැඟුමක නුඹ එතුණු
සසයි සකිය නුඹ මා දිවියට ලැබුණු

ය මුව රැඳි සිනාවෙන් සිතුවම් කෙරුණු
ණ පදයක රැඳුණු සුමිහිරි බව ඇසුණු
ට නොව මා සිතට නුඹ ලංවී දැනුනු
විඳිනට අවසරයි සැනසුම සිත දැනුනු

න මග නුඹට පා පොඩි තවමත් රිඳුනු
මල් පෙති විසිරෙනා දිනයක් ලඟ දකිනු
මග පෙන්වනා තරුවක රුව නෙත් ඇඳුණු
දිවිමග රැඳේවා නොනිමෙන ලෙස දිලිණු




හඬන්නට නොහැකිව 
හිනාවෙන හිත් වලට
ලැබේවා තව දිරිය 
කඳුලු හිත දරන්නට...

7/30/2012

අප්පච්චී......

දුටිමි මුලු ලොව නුඹේ නමින් මම 
ඒ ලොව නුඹමයි අප්පච්චී..
ඇසුවෙමි නුඹෙ දෙසවනින් ලොවම මම
ඒ හඬ නුඹමයි අප්පච්චී..
ගලපමි පද නුඹ දුන් දිවි තනුවට
ගීය නුඹම විය අප්පච්චී..
සිතුවෙමි නුඹ දුන් සත් සිතුවිලි කඳ
සිතුනේ නුඹ ගැන අප්පච්චී..


සිනිඳු මලක පෙති ආදර බැම්මෙන් 
කෝම සුරැකුවද අප්පච්චී..
ඒ ආදරයට කවිකම් කරන්න 
මා කවියෙක් නොව අප්පච්චී..
බුදුන් නුදුටු බව කෝම කියන්නද 
නුඹ පාමුල සිට අප්පච්චී..
දෝත පුරා මල් තබා වඳින්නම්
මගෙ මුලු ලෝකය අප්පච්චී..

මම නොවේ.....


4/30/2012

පැතුම...


තුති පුදමි හෙටත් මම....

සුවහසක් තරු නිදන

නිමක් නැති අහසකට


පියමැන්න මගේ හිත


දකින්නට නෙත් හැරන් 


සිටි එකම තරු මලට


තුති පුදමි හෙටත් මම.... 

(නො)ඉල්ලීම

අහසක තරු පතන්නෙ නෑ
දෝතට ගන්න

අමාවකට හඬන්නෙ නෑ

සඳ දැක ගන්න

තව නොලැබුන දෙයකට නෑ

පැතුමක් පැතුව

සිහින දකින් නෑ

මේ මුලු ලොවක් දිනන්න.....

පුදුමයි....


3/05/2012

නිහඬයි මගේ ලොව..



නිහඬයි මගේ ලොව
නුඹෙ හඬ නැති දාට
අඳුරුයි ලොවම
නුඹෙ සිනහව නැති දාට
වැලපෙයි මගේ ලොව
නුඹෙ හඬනා දාට
පාලුයි මිතුරු සෙනෙහස
නොදැනෙන දාට....

1/28/2012

..........??



පාට මල් සුවඳ එක්කර
දුටුව හීන වල තවරන්,
ජීවිතයේ අරුත සෙව්ව
මගෙ හදවත ලගින් හිඳන්,
සිසිල දුන්නු සෙනෙහෙ ගගුල
වියලී යාදෝ...
පාලු කතර මැද මගෙ හිත
යලි තනිවේදෝ....

1/21/2012

තනිකම දැනුනි..


අහස දුරයි සඳවත නොලැබෙන හින්දා..
පොළොව රලුයි යා යුතු මග දුර හින්දා..

කදුලු දුකයි සිනහව සතුටක්‌ හින්දා..

තනිය දැනෙයි පෙර තනි නොම වූ හින්දා..

1/11/2012

මා ණයගැතියි නුඹ මා ලග රැදුනාට.....


කවදාවත්ම මා තනිකර
නොගියාට,
සෙවනැල්ලටත් වැඩියෙන්
තනි රැක්‌කාට,
සිනහව කදුල එක සේ
විද ගත්තාට,
මා ණයගැතියි නුඹ මා ලග
රැදුනාට.....

හෙටටත් මගේ ලොව අබියස

වැඩ ඉන්න,
නෙත රැදි කදුලු නුඹෙ දෝතට
අරගන්න,
මගෙ හිත පෙර සේම දැක
වටහාගන්න,
''තනිකම'' ම හැර දා නොමයන්
කිසිදාක....

රකින්නම් මගෙ ගීය....


ලියන්නම්
නොපෙනෙනා පදවැලක්‌ නුඹ නමට,
සොයන්නම්
මට උරුම නැතත් එහි රැදි තනුව,
වයන්නම්
නුඹ සවන් නොගැටෙනා දුරක හිද,
රකින්නම්
හැමදාම මටම හිමි මගෙ ගීය....

1/06/2012

ඔබේ ආසිරි ලැබෙයි නම්....,


හිත සතුට දෝතින් අරන්
නෙත කදුලු සිත තුල දරන්
තව කොතෙක්‌ වුව පියමනින්නම්
ඔබේ ආසිරි ලැබෙයි නම්..
නොදුටු හෙට ගොඩනගන්නම්
බොදව ගිය ලොව දකින්නම්
ලොවට ආදරෙ කරන්නම්
නුඹෙ ආදරේ ලග හිදී නම්..
හඩන හිත් ලග හිදින්නම්
ලබන සුසුමන් දරන්නම්
දුක්‌ සුසුම් මැද සිනාසෙන්නම්
නුඹ සිනාසෙයි නම්..
තනා දුන් ලොව රකින්නම්
නුඹේ සිතුවිලි පුදන්නම්
නුඹ මගෙ හිත දුටුව අයුරින්
ඒ ලොවත් මම දකින්නම්...

නුඹට ආදරෙ නිසා,,,,,

කිසිදාක නොසිතු ලෙස
මගෙ ලොවට පායලා,,
කිසිවෙකුත් නොකල යුරු
මගේ ලග දැවටිලා,,
කිසිවෙකුත් මට නොකී
බොහෝ දේ මුමුනලා,,
කිසිදාක නොයන බව
මටම දිවුරා කියා,,

කිසිදාක නොසිතු දේ
මගෙ හිතේ රදවලා,,
කිසිදාක මා නොලද
මිතුදමක්‌ පුද කළා,,
කිසිදාක මා නොලත්
ආදරය දුටු නිසා,,
බොහෝ කල් යල් බලා
මමත් ගෙල පැලදුවා,,

කිසිදාක සිත නොදැනි
මහ දුකක්‌ මට තියා,,
කිසිදාක නොපැතු ලෙස
නුඹ මගෙන් වෙන් උනා,,
කිසිදාක නුඹව හැර
නොයන බව කී නිසා,,
මම තවම නුඹ ලගයි
නුඹට ආදරෙ නිසා,,,,,

1/02/2012

තිළිණය......


හඩන්නට කදුලකුත් නැති කළ,
හෙලන්නට සුසුමකුත් නැති කළ,
කියා ගන්නට තවම නොහැගෙන,
නුඹ තිළිණ කළ දුකෙහි අරුමය......